Dana Potha

බ්‍රිස්බේන් මහමෙව්නාව අසපුවේ දානය පූජා කිරීම පිළිබඳව තොරතුරු.

අග්ගස්ස දාතා මේධාවී අග්ගධම්මසමාහිතෝ, දේවභූතෝ මනුස්සෝ වා අග්ගප්පත්තෝ පමෝදතී ති.

අග්‍ර වූ උතුමන්ට දන් පැන් පුදන අග්‍ර වූ ධර්මය කෙරෙහි සිත සමාහිත කරගෙන සිටින නුවණැති පුරුෂයා දෙවියන් අතරට ගියත්, මිනිස් ලොවට ගියත්, අග්‍රස්ථානයෙහි වැජඹී සතුටු වෙනවා.

-ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළි, අග්ගප්පසාද සුත්තං-

ඔබත් දාන වාරයක් ලබාගනු කැමති නම්

පහත අංකයට කතා කරන්න. -0476 411 356-

අසපුවට පැමිණිය යුතු වෙලාව

උදෑසන දානය – පාන්දර 5.15 ට

දහවල දානය – උදෑසන 10.15 ට

දානය සම්බන්ධ ප්‍රධාන කටයුතු

1 බුද්ධ පූජාව පිළියෙළ කිරීම.

2 මහා සංඝරත්නය විෂයෙහි දන් පැන් පිළිගැන්වීම.

3 දානය අවසානයේ පිරිසිදු කිරීම.

1 බුද්ධ පූජාව පිළියෙළ කිරීම.

  • ඔබ රැගෙන ආ දානයෙහි අග්‍ර කොටස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමට පිළියෙළ කරගන්න.
  • ආහාර උණුසුම්ව නැත්නම් ප්‍රථමයෙන් Microwave කර හෝ Oven එක භාවිත කර ආහාර රත් කරගන්න.
  • බුද්ධ පූජා පාත්‍රයට දානය බෙදීමේදී බත්, ව්‍යංජන ආදිය ප්‍රමාණවත් පරිදි බෙදන්න.
  • පළතුරු සහ අතුරුපස පිළියෙළ කිරීමේදී ඒ සඳහා වෙන්කොට ඇති භාජන වලට සකස් කරගන්න.
  • බුද්ධ පුජාව සඳහා උණු පැන් වීදුරුවක් සකස් කරගන්න.
  • බුද්ධ පුජාව Tray වල තැන්පත් කර Cling wrap එකක් දමා ඊට උඩින් පූජාව වසන වැසුම් වලින් වසන්න.
  • උදෑසන බුද්ධ පූජාව පෙරවරු 5.40 වන විටද දහවල බුද්ධ පූජාව පෙරවරු 10.55 වන විටද සුදානම් කරන්න.
  • මල් ආසනය පිරිසිඳු කර නැත්නම් පිරිසිඳු කර පහන් දල්වා නැත්නම් පහන් දල්වා වන්දනාවට සුදානම් කරන්න.
  • බුද්ධ පූජාව පූජා කිරීමට පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කරනු ඇත.

2 මහා සංඝරත්නය විෂයෙහි දන් පැන් පිළිගැන්වීම

බුද්ධ පූජාව සකස් කරන අතරතුරම පින්වත් ස්වාමින් වහන්සේලාගේ දානය සඳහා පහත කටයුතු සුදානම් කරගන්න.

ස්වාමින් වහන්සේලාගේ දානය පිළිගන්වන භාජන වල දානය තැන්පත් කර හොඳින් රත් කර Aluminium foil වලින් වසා සීතල නොවන ලෙස තබන්න.

 

ස්වාමින් වහන්සේලාට මද උණුසුම් පැන් ජෝගු සුදානම් කරන්න. මෙහිදී Tap වතුර භාවිතය සුදුසුයි. මුලින් Tap එකෙන් ඇල් වතුර 1/4 පමණ පුරවා ඉන් පසු Tap එකෙන් උණු ජලය ජෝගුවේ 3/4 දක්වා පුරවන්න. ස්වාමින් වහන්සේලා එක නමකට එක බැගින් ජෝගු දාන ශාලාවේ මේස මත තැන්පත් කරන්න.

Flask වලට වතුර බෝතල් වල ජලය උණු කර පුරවා ස්වාමින් වහන්සේලා එක නමකට එක බැගින් දාන ශාලාවේ මේස මත තැන්පත් කරන්න.

ස්වාමින් වහන්සේලාගේ හැඳි ආදිය දාන ශාලාවේ මේස මත සුදානම් කරන්න.

ඉඳුල් වතුර බැහැර කිරීමට ස්වාමින් වහන්සේලාගේ පුටු දෙකක් අතරින් එක බැගින් සුදු පැහැ Bucket තබන්න.

  • පළතුරු සුදුසු ප්‍රමාණයේ කැබලි වලට කපා පිඟන් වලට සුදානම් කර Cling wrap වලින් වසා තබන්න.
  • අතුරුපස පිඟන් වලට සුදානම් කර Cling wrap වලින් වසා තබන්න.

3 –  බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු පින්වත් ස්වාමින් වහන්සේලා දාන ශාලාවට වැඩම කරනු ඇත. එහිදී දානය පිළිගැන්වීමට පහත පියවර අනුගමනය කරන්න.

  • ස්වාමින් වහන්සේලා අසුන් වල වැඩ සිටි විට ඔබ පැදුරක් දමා වාඩිවී දානය ආර්ය මහා සංඝරත්නය විෂයෙහි පුජා කිරීමට එක් වන්න (දානය සාංඝික කිරීම).
  • ස්වාමින් වහන්සේලා පාත්‍ර පිරිසිදු කර සුදානම් කරගත් පසු දානය පිළිගන්වන්න. මෙහිදී,

         – පළමුව බත් වර්ග ද,

         – දෙවනුව ප්‍රධාන හොදි වර්ග ද,

         – තෙවනුව අනෙක් ව්‍යංජන වර්ග ද,

         – ඉන්පසු සම්බෝල, මැල්ලුම් වර්ග ආදිය ද,

         – අවසානයට පපඩම්, කට්ලට් ආදිය ඇත්නම් පූජා කරගන්න.

  • පිළිගැන්වූ භාජන දෙවැනි වර පූජා කිරීම සඳහා නැවත පිළිවෙලට Bench top එක මත තැන්පත් කරගන්න.
  • ස්වාමින් වහන්සේලා දානය වළඳන අතර ඔබ කුස්සිය ආසන්නයෙන් සිටින්න.
  • විනාඩි 5 කට පසුව සියලූ‍ දෙනා එක්වී ඉහත පිළිවෙලට ම නැවත දානය පිළිගන්වන්න.
  • ස්වාමින් වහන්සේලා පාත්‍ර සේදු පසු සියලූ‍ දෙනා එක්වී පළතුරු සහ අතුරුපස පූජා කරන්න.
  • දානය වළඳා අවසන් වූ පසු ස්වාමින් වහන්සේලාගේ මේස මත තිබෙන භාජන ඉවත් කරන්න.
  • ඉන්පසු පැදුරක් දමා වාඩිවී පුණ්‍යානුමෝදනා දේශනාවට සම්බන්ධ වන්න.

4- දානය අවසානයේ පිරිසිදු කිරීම.

  • දානය අවසන් වූ පසු ඉතුරු සියලූ‍ම ආහාර ඔබ නැවත රැගෙන යන්න.
  • බුද්ධ පූජාව ඉවත් කර භාජන සෝදා පිරිසිදු කර රෙදි Tea towels වලින් පිස දමා තිබු තැන්වලින්ම තැන්පත් කරන්න.
  • ස්වාමින් වහන්සේලාගේ භාජන, පිඟන්, කෝප්ප හොඳින් සෝදා වතුර ඉවත් කර රෙදි Tea towels වලින් පිස දමා තිබු තැන්වලින්ම තැන්පත් කරන්න.
  • හැඳි, පිහි ආදිය ද සෝදා පිසදමා නියමිත තැන් වලින් තැන්පත් කරන්න.
  • දාන ශාලාව අතුගා, දානය මේස පිස දමා පිරිසිදු කරන්න.
  • බෙන්ච් ටොප් එක පිස දමා පිරිසිදු කරන්න.
  • ස්වාමින් වහන්සේලාගේ උණු වතුර බෝතල් වලට හොඳින් උණුකළ බෝතල් වතුර පුරවා නැවත මේස මතින් තැන්පත් කරන්න (ඔබ උදැසන දානය පූජා කරන්නේ නම් පමණක්).

ඉඳුල් Bucket අස් කර සෝදා Tissue වලින් පිස දමා තිබු තැනින් තැන්පත් කරන්න.

Garbage bin අස් කර අලුත් කවර දමා පිරිසිදු කරන්න.

ඉවත් කළ Garbage ඔබගේ නිවසේ bin වලට දැමීමට රැගෙන යන්නේ නම් ඉතාම සුදුසුය.

තෙත රෙදි Tea towels වේලෙන පරිදි තබා යන්න

5- අමතර කරුණු

ආර්ය මහා සංඝරත්නය විෂයෙහි උතුම් සාංඝික දානයක් පූජා කර ගැනීමට ඔබට ලැබුණු මෙම අවස්ථාවේදී, මේ මහා පින්කමෙන් රැස්වූ සියලූ‍ම පුණ්‍ය ධර්මයන් ඔබගේ මළගිය ඥාතීන්ටද, සුජීවත්ව සිටින අයටද අනුමෝදන් කිරීමටත්, ඔබ අපේක්ෂා කරන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසාත් පින්වත් ස්වාමින් වහන්සේලා විසින් අනුමෝදන් කිරීම උදෙසා ඔබගේ පුණ්‍යානුමෝදනාව, පුණ්‍යානුමෝදනා පොතෙහි සටහන් කරන්න.

පින්වත් ස්වාමින් වහන්සේලාට වන්දනා කරන ගාථාව

ඕකාස වන්දාමි භන්තේ.
මයා කථං පු‍‍‍‍ඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාමිනා කතං පුඤ්ඤං මයිහන් දාතබ්බං.
සාදු! සාදු!! අනුුමෝදාමි !!!

ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයන් ඛමත මේ ‍ භන්තේ.
ඕකාස ඛමාමි භන්තේ.
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ.
තතියම්පි ඕකාස ඛමාමි භන්තේ.
සාදු! සාදු!! සාදු!!!

(සිංහල අර්ථය)
අවසරයි ස්වාමීන් වහන්ස, මම වන්දනා කරමි. මා විසින් කරණ ලද පිං ස්වාමීන් වහන්සේ අනුමෝදන් වන සේක්වා!
ස්වාමීන් වහන්සේ විසින් විසින් කරණ ලද පිං මට අනුමෝදන් කරණ සේක්වා!
සාදු! සාදු! අනුමෝදන් වෙමි!
අවසරයි ස්වාමීන් වහන්ස, මාගේ තිදොරින් යම් වරදක් සිදුවූයේ නම් සමාවන සේක්වා!
අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා!
දෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා!
තෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා!
සාදු! සාදු!! සාදු!!!